Thursday, April 11, 2019

කෙටි කතාව 01


එහෙත් මෙහෙමයි - මෙහෙත් එහෙමෙයි


“හැමදාම මෙහෙම පරක්කුවුණාම කොහොමද අක්කා මම  මගේ රස්සාව කරගන්නවා . මාස තුනකින් ගෙවල් කුලී ගෙවලා නෑ”
ඒ රාමන්  මාමාය .මමත් මගේ අම්මාත් තාත්තාත් පදිංචි වී සිටින්නේ රාමන් මාමාගේ කුලියට ගත් නිවසකය.ඒ සැඩ පරුෂ වචන  නිතර  ඔහුගේ කුලී නිවාස  ඉදිරියේ දෝංකාර දෙන්නේ ටියුන් කරන ලද දෙමල සිංදුවක් මෙනි.තාත්තාගේ ගුරු වෘතියත් සමග අපට කුලී නිවසකට පදිංචි වීමට සිදුවිය.ගමේ  මහ ගෙදර අත්හැර තාත්තාගේ දුෂ්කර මාරු වීමත් සමග නොදන්නා ප්‍රදේශයක පදිංචි කරුවන් ලෙස ජිවත් වීමට පටන් ගෙන  අවූරුද්දකට  වැඩි මිසක් අඩු නොවේ. දැන් තාත්තා ගේ හොදම යහළුවා  තාත්තගේ පාසලේම උගන්නවන සිවරාජන් මාමය.
            අපේ කුලී නිවස පිහිටා ඇත්තේ සිවාරාජන් මාමගේ  ගෙදරත් රාමන් මාමාගේ ගෙදරත් මැදි කරගෙනය. රාමන් මාමාගේ කුලී නිවසේ අවූරුද්දක කාලයක් අපි ජිවත් වන්නේ  සිවරාජන් මාමාගේ දැනහැදුනුම්කම නිසාවෙනි.
මෙවර සිවරාජන් මාමාගේ සුදානම දීපවාලි උත්සවය ජයට සැමරීමටය.අපේ ගෙදර නිතර එන යන සිවාරාජන් මාමා නිතරම මතක් කලේ “දුව   මේ පාර අපේ අවුරුද්දට  අම්මා අප්පා එක්ක එන්න ඕනා  සිවා මාමාගේ ගෙදර ”
“තම්බි මේ පාර දීපාවලි බලන්න එන්න ඕනේ අපේ ගෙදර.මල්ලිලා මෙහෙට ඇවිත් සමරන පළවැනි දීපාවලි උත්සවය  දුව හරි ආශාවෙයි.”
සිවා මාමාගේත් ගමේ සියලු දෙනාගේත් හිත්වල සතුට ඔවුන් කඩිමුඩියේ ගෙවල් සුද්ද කරමින් ගෙට අළුතින් තින්ත  ගාමින් දීපවාලි සැමරීමට සුදානම් වෙන අයුරු දැකීමෙන් මට සිහිවන්නේ අපි ගමේ   අත්තම්මා සියා සමග අලුත් අවුරුද්දට සුදානම් වෙන අයුරුමය .තාත්තා බාප්පා සමග ගෙදර මකුණු දැල් කඩා අලුතින් ගෙනා  තීන්ත ගෙදර ගාමින් ලබන අවුරුද්දේ සතුට සිවා මාමාගේත්  රාමන් මාමාගේත් සතුටට දෙවෙනි නොවන්නේය.
            “දු........ සුසීමා පුතේ අම්මා  ගංගාගේ  ගෙදර යනවා .”
සිවා මාමා මෙන්ම මගේ හොදම යහළුවා වුයේ ගංගාය.ඇය ඉපදුනේ මට වඩා මාස තුනකට පසුවය.එම නිසාවෙන් ඇය හය වසරේ ඉගෙන ගන්නිද්දී මම හතවසරේ ඉගෙන ගන්නේ මාස තුනකට කලින් මා මෙලොව දැකීම හේතුවෙනි. කෙසේ නමුත් මගේ අදහස් ගංගාගේ අදහස් වලට කිරි පැණි මෙන් ගැලපෙන්නේය.
අම්මටත් කලින් ගංගාගේ ගෙදර යන්න සුදානම් වූ මා කොණ්ඩයට බුලක් දාමින් ගෙයින් එලියට බැස්සේ මමත් එනවා අම්මේ යන්න කියමින්ය.ගංගාගේ ගෙදර ගිය මට ඇය පෙන්නුවේ ඇයගේ අලුත් ඇදුම් හා වළලුය.
“ හරිම ලස්සනයි.මටත් තියෙනවා ඔය වගේම ලස්සන සලවාරියක්.අපිත්අපේ අලුත් අවුරුද්දට අලුත් ඇදුම් ගන්නවා.තාත්තා ,බාප්පා ,සියා මට අලුත් ඇදුම් ගෙනත් දෙනවා.මේ අවුරුද්දේ තාත්තාට කියා මන් ගත්තෙත් ඔය වගේ ම  දිග සලවර් එක්ක ” කියූ මට පෙනුනේ ගංගාගේ මුහුණේ පිරි තිබුන  හිනාවයි. ඒ සිනහව මා සිතින් ගමට ගෙන ගියේ “කෙල්ලගේ හිනාව බලන්න එපායැ බලාගෙන කට කනේ ගෑවෙයි”යනුවෙන් බාප්පා මට කරන සරදම සිහි ගන්වමිනි.
අම්මා ගෙදර ඇවිත් තාත්තාට කිවේ “මේ ඇහුනද මට අපේ ගෙදර මතක් වුනා අපිත් අලුත් අවුරුද්ද කොච්චර  සරුවට  සමරනවද?”  “ කැවුම් කොකිස් හදනවා  ,පැණි වළලු  හදනවා...... , අලුවා හදනවා...... අම්මට ඉවරයක් නෑ”
“සිවා අයියාලාගේ ගෙදර මොකද වුනේ”
“එහෙත් හරි හරියට වැඩ.අක්කා මුරුක්කු හදනවා, වඩේ බදිනවා . හරී.... රහට පැණි වළලු හදනවා ඒ අක්කා”
 “ හදන තැන ඉන්න බෑ කන්න හිතෙනවා .අත්තම්මාගේ පැණි වළලු මතක් වෙනවා නේද අම්මේ”
“ හෙට එහෙ එන්න කිව්වා තුන්දෙනාටම අයියා සැරෙන් සැරේ මතක් කලා.”
නිදා ගැනීමට ගියද මගේ  පිය වෙන ඇසට නැවත නැවත පියවි  සිහිය එන්නේ ගේ අසලින් ඇසෙන අඩි සද්දයන් හා කනට කර කියන්නාක් මෙන් ඇසෙන කසුකුසුවයි.හෙට ගංගා ඔවුන්ගේ අලුත් අවුරුද්ද සමරන්න නොනිදා රැය පහන් කරන්නවා  මෙන් මට හැගුනේ ඇදෙ සිට කඩින් කඩ නින්ද අලුති පටන් ගන්නසිදු වුන මට අවසාන වෙලාව බලන විට අලුයම් තුන පසු වී තිබීම නිසාවෙනි .ඒ වන විටත් අහල පහලින් ඇසෙන ශබ්දයන්ගේ අඩුවක් නම් නොවිය.
            පහුවදා උදාවේ ආරම්බය සැලකලේ සුපුරුදු කුකුළු නාදයන් නොවේ.අහල පහලින් ඇසෙන රතින්යා  හඩිනි.අලුයම සිට ඔවුන් මේ සුදානම් වන්නේ උදා වූ දීපාවලි සැමරීමටය.අලුයම  අම්මා  සමග කතා කරනවා ඇසුනේ රාමන්   මාමාය. “ඔව්  තංගච්චි අපි කෝවිලට  යනවා  පුජාව තියන්න”මට අසුනේ  එපමණය.වෙලාව ප්‍රමාද වීම හේතුවෙන් සිවා මාමා අපේ ගෙදර ආවේ නා කියා ගැනීමටය.ගෙදර කලබලයත් සමග ප්‍රමාද වන බව පවසමින් නා කියාගෙන සිවා මාමලත්  යන්නේ දෙවියන්නට  කෝවිලේ පිදෙන පුජාවට බව මට පසක් වුයේ රාමන් මාමා ගේ කතාවෙනි.  
            සිවා මාමාගේ ලද ඇරයුමෙන් මමත් අම්මත් තාත්තාත් ඔවුන් සමග අවුරුද්ද සමරන්න එකතු  වුයේ රාත්‍රී කාලහිදිය.වෙනදා නොදැකපු අයුරින් මුළු නිවසම අලෝකයෙන් සැරසී තිබුනේ ගංගාගේ  බසින් නම් ලක්ෂ්මි දේවිය වඩිනවා යන කියමන සනාථ කරමිනි.සිවා මාමාත් ඔහුගේ පවුලත් අපිව සාදරයෙන් පිළිගත් අයුරින්  පිටස්තර බවක් මා හට නොහගුනේය.මමත් ගංගාත් එකම ගසක පිපුණු  මල් දෙකක්  එකම සුවද විහිදෙන මල් දෙකක් නොවුනද ගංගාටත් ඈගේ පවුලටත් ඒ  මල් දෙකේ  වෙනසක් සුවදේ  වෙනසක් නොවුන  බව ඔවුන්ගේ සුහද පිලිගැනුමෙන්  මට හැගී ගියේය.”එන්න එන්න චුටි දු මොකද ලැජ්ජා වෙලා ඉන්නවා.”  
“මල්ලි එන්න එන්න ”යනුවෙන් අත්දෙක එකට කොට ආයුබෝවන් කියා පිලිගත්තේ මුව පුරා පිරි සිනහවක්ද සමගිනි. සිවා මාමාගේ නෑයින් හරි අපුරුවට සිංහල කතාකරමින් අපි සමග සුහද කතබහක යෙදුනේ පෙර සිට දැනහැදිනගත් අය ලෙසය. 
 කෝලම් රටාවකින්  ගෙයි දොරකඩ විසිතුරු කර පහන් දල්වා තිබීමෙන් දීපවාලි ආලෝකය ගනේෂ්වර මාවතම අදුරෙන් මුදවා ගැනීමට සමත් විය.
            “වාංග  සුසීමා.., මගේ රන්හොලි සැරසිල්ල මේ... ලස්සනද”
නෙලුම් මලක හැඩයෙන්  නිර්මාණය කර විවිධ ධාන්‍ය වලින් වර්ණ ගැන්වූ කෝලම් රටාව පැමිණි කාගේත් සිත් ගන්නා දසුනක් විය.පහන් ආලෝකය මුළු පළාතම වසා ගන්නා කල මට මතකයට එන්නේ වෙසක් දිනයේ ගමේ පහන්වල  ආලෝකය විදුලි බල්බ පරදවා විහිදී යන අයුරුයි.ලිද වටේට දැල් වූ ඒ  පහන් දැල්වෙන්නේ වෙනදා දැල් වෙනවාටත් වඩා වඩා ශාන්ත බවකිනි.
අතීතයට ගිය මගේ හිත පියවි සිහියට ආවේ ගංගාගේ කෑ ගැසීමත් සමගය.“අර අර බලන්න දියාස්,හරිම ලස්සනයි.අප්පා හැදුවේ.”ගංගා මට පෙන්නුවේ කුඩු අකාරයෙන් සෑදු ආලෝකයෙන් බැබලෙන පහන් කුඩුය.වෙසක් කාලයට මුළු ගමෙන්ම බාප්පාගේ වෙසක් කුඩුට ගසන්නට වෙන කුඩුවක් නැති තරම්මය.මුළු ගමම රාත්‍රියට ගෙදරට එකතුවන්නේ මෙවර බාප්පා සෑදුවා වෙසක් කුඩුව බැලීමටය.එවිට අම්මට තේ හදලා  ඉවරයක් නැත. “ඕවට අපේ ගමේ කියන්නේ පහන් කුඩු කියලා. වෙසක් පෝයට අපිත් කුඩු හදනවා.ගෙදරකට වෙසක් කුඩු දෙකතුනක් වරදින්නේ නෑ.”අම්මා අපේ කතාවට එකතු වුයේ ඇයටද මේ හැම දර්ශනයන් තුලින් ගම සිහි වන නිසාවෙනි.ගමේ උන බට පතුරු වලින් හදන අටපට්ටම් හැඩ දා ඇලවීමට  බාර වන්නේ ගැහැණු ළමුන්ටය.සැදු අටපට්ටම් රැලි දමා හැඩට අලවන්න මමද  හරි සමතියකි.පහු ගිය වෙසක් මංගල්‍ය දා නෙලුම් මල් හතක්  ලස්සනට අලවා සිදුහත් උපත් සිහිකිරීමෙන් මා ලද ආත්ම තෘප්තිය කියා නිම කල නොහැක.
            සතුට ඉතිරි ගිය මොහොතක අම්මට කතා කරනු ඇසුනේ කෑමට සියලු දෙනා  සමග එන ලෙසය.මට ගතවූ හැම තප්පරයකම හැගී ගියේ එහෙත් මෙහෙමෙයි යන හැගිමමය.
පසුගිය රෑ ගෙවී ගියේ කාටත් නොදැනුවත්වමය.ගෙදර විත් ඇදට වැටුණු මා වේලාව බැලුවේ පුරුද්දට මෙනි.පාන්දර දෙකත් පසුවී තිබීමෙන් හෙට පාසල් යන්නට අති බව හැගී ගිය නිසාවෙන් කල්නොයා නින්දට වැටුනු මා පසුවදා අවදි වුයේ අම්මාගේ ඇවටිල්ලට  මිස මගේ කැමැත්තට නම් නොවේ.තාත්තා පාසල් යාමට සුදානම් වී ඇති බවත් මගේ ප්‍රමාදය  තාත්තාට ද ප්‍රමාද කරන බව තාත්තාගේ  නිල් වූ මුහුණෙන් පෙනී ගියේ ය.”තාත්තා මම සුදානම් ඉක්මන් කරන්නකෝ පරක්කු වෙනවා ” යනුවෙන් කියා එලියට බැස්සේ මගේ ප්‍රමාද විම  තාත්තගේ පිට පැටවීමේ  අදහසිනි. “සුනිල් ඔයා පරක්කුයි” අම්මාද කිවේ තාත්තාට  සරදමට මෙනි.
 දවස් ගෙවී ගොස්  පාසල් නිවාඩු දෙන දවස අදයි.ලැබුණු අලුත් පොත් ද රැගෙන ගෙදර ආවේ ගමේ යාමේ ලොකු බලාපොරොත්තුව පෙරදැරි කරගනිමිනි.ගමේ ගොස් කියන්නට බොහෝ දේ ඇත.ගංගා සමග සමරු දීපවාලි උත්සවය ගැන කියන්නට මා කට මැදගෙන සුදානම්වුයේ ගමේ යන්න බස් රථයට නගාගත් මොහොතේ සිටය.  
“අත්තම්මා ...................සියා ................”යනුවෙන් කෑගසා මම අත්තම්මාට වැද ඇයගේ තුරුලට ගියේ තවමත් මම ඇගේ එකම  සුරතල් සුදු නෝනා නිසාවෙනි.ඇය ඉතා සතුටින් මගේ කතාව  අසා සිටියේ පුංචි හෝ බධා කිරීමක් නොකරය.
මගේ කතාව අසා අවසානයේ  අත්තම්ම කිව්වේ “දුවේ ඒ ලමයිටත් අපේ ගෙදර එන්න කියන්නකෝ අවූරුද්දට ” යන කනට මිහිරි වචන කිහිපයකි.
“ඔව් අම්මා අපිත් කිව්වේ අවුරුද්දට බැරි උනොත් වෙසක් එකට ගමේ යන්න එන්න කියලා”
ලැබූ අලුත් අවුරුද්දේ හෙටට මාස හතරකුත් ගතවී එලබෙන්නේ අලුත්ම මාසයකි.සිවා මාමාත්ගේ පවුලම මෙවර වෙසක් බලනට  අපේ ගමට ආවේ තාත්තාගේ අරයුමෙනි.අත්තම්මා සමග පන්සලට ගිය නිසාවෙන් ගංගා තාත්තාගෙන් කිපවත්වක් ගංගා මා ගැන අසා ඇති බව  “ආ අර එන්නේ සුසීමා.යන්න දුව”යන තාත්තාගේ ආමන්ත්‍රණයෙන්  මට හැගිගියේය . වෙසක් දින වැටකෙයියා කොටු  අතර තැබූ පහන්වල  ආලෝකය මෙන්ම බාප්පාගේ කැරකෙන පහන් කුඩුව සිවා මාමාගේ හිතට ගෙනාවේ මහත් ප්‍රීතියකි.
“අප්පා අර දිවාස් ලස්සනයි”යනුවෙන් ගංගා අත දික්කර පෙන්නුවේ මා විසින් අලවන  ලද වෙසක් කුඩුවයි.
“මම ඔයාට කිව්වේ අපිත් පහන් කුඩු හදනවා වෙසක් එකට කියලා”
“අපේ වගේම මෙහෙත් එහෙමයි නේද අප්පා”යනුවෙන් ගංගා කිවේ රැලි දමා ඇලවූ මගේ වෙසක් කුඩුව දිහා ආශාවෙන් බලාසිටිමින්ය.



තිලිනි වාසනා ජයමිණි.
කැලණිය විශ්ව විද්‍යාලය

 





         






No comments:

Post a Comment

post 2